බුදුවෙන්න තියෙන ලේසිම විදිහ

අපට නොලැබෙන දේ තමයි මේ මනුස්ස ලෝකයේ ඉපදුනැයි පස්සේ අවබෝධය. මනුස්ස ලෝකයේ ඉපදිච්ච මනුස්සයෙකුට කෑමබීම, ඉදුම් හිටුම්, රස්සාවල්, විවාහ, දූදරුවෝ, ගෙවල් ඒවා ඉබේම හම්බවෙනවා. ඒවා හම්බවෙන්න තමයි මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ. හැමෝම කැමති වෙන්නේ භෞතික ජීවිතයට මේ භෞතික සම්පත් දරාගෙන තමන් වටේ මේ භෞතික සම්පත් ජාලය ගොඩගහගෙන ස්වදායී ජීවිතයක් ගෙවන්න. ඒක තමයි මේ මනුස්ස ලෝකේ ඉපදුන හැමෝගෙම ඒකායන බලාපොරොත්තුව. මොකක්ද මේ ස්වදායී ජීවිතය, කෙසේද මේ ස්වදායී ජීවිතයකට ලගාවෙන්නේ කියන එක ගැන කිසිම කෙනෙක් හිතලා බලන්නේ නැහැ. 

සාමාන්‍යෙයන් ලෝකයේ ජීවත් වෙන මනුස්සයෙක් කල්පනා කරනවා කෑමබීම, ඇදුම් වගේ කලින් කියපු දේවල් ලැබුනාම ඒක ස්වදායී ජීවිතයක් කියලා. ඒක ස්වදායී වෙන්නේ ජීවිතය පිළිබඳ ගැඹුරු දැක්මක් නැති කෙනෙක්ට. ජීවිතය පිළිබඳ ගැඹුරු අවධානයක් නැති කෙනෙක් හිතනවා තමන් වටේ එකතුවන දේවල් තමන්ගේ ස්වදායී ජීවිතය කියලා. එහෙම ගියාම කාලයක් තිස්සේ යනකොට අර ඇදුම්, කෑම, යාලුවෝ, දරුවෝ, ගෙවල් දොරවල්, සම්පත් නිසා තමුන්ට මානසික අසහනය හටගන්නවා. මේ මනස බරවෙනවා. තමන්ගේ නිදහස නැතිවුන බව තේරෙනවා. එතකොට ඒ අයට කල්පනා වෙනවා කලින් ස්වදායික ජීවිතයක් කිව්වට එහෙම එකක් නැහැයි කියලා. මිනිස්සු ඕනෑම දෙයක් හොදයි කියන්නේ ලැබිලා නැති නිසා. මිනිස්සුන්ට බුදුබව වටින්නේ ලැබිලා නැති නිසා. මිනිස්සුන්ට භෞතික සම්පත් වටින්නේ ලැබිලා නැති නිසා. කෙනෙක්ට මේ භෞතික සම්පත් පරතෙරටම දුන්නොත් ඒ මනුස්සයා කල්පනා කරනවා මොකක්ද මේ ජීවිතයේ යථාර්තය, මොකක්ද ඇත්ත කියලා. අපි මොකුත් දන්නේ නැති කාලේ හිතුවා අපිට මේ කන්න බොන්න, ඉන්න තැනක් තිබුනාම අපිට ස්වදායික ජීවිතයක් පවතියි කියලා. ඒත් අපිට කෑම බීම වගේ සියළුම අවශ්‍යයතා ඉටුවුනා. හැබැයි ස්වදායික ජීවිතයක් නැතිවුනා.

ඊටපස්සේ මිනිස්සු කල්පනා කරනවා වෙනස් විදිහකට. අපි ඉන්න තැන වෙනස් කරපුවාම, ඇවිද්දාහම ලෝකය පුරාම, ගමන් බිමන් ගියාම, යාළුවෝ ආශ්‍රය කරහම, කෑම වෙනස් කරහම ස්වදායී ජීවිතයක් හම්බවෙනවා කියලා. ඒ මොන දෙයක් කරත් මිනිස්සුන්ට ස්වදායී ජීවිතයක් නැහැ. ඔන්න ඔය නිසා තමයි ඒ ස්වාදායී ජීවිතය සොයන්න, සැපදායි ජීවිතය සොයන්න ලෝකයේ එදා ඉදන්ම ගුරුවරු පහල වුනා. ඒ පහල වෙච්ච ගුරුවරු ජීවිත අත්දැකීම් ලැබුවා. සෑම මනුස්සයෙක්ම ගුරුවරයෙක් බවට පත්වෙන්නේ ජීවිත අත්දැකීම් නිසා. ජීවිත අත්දැකීම තමයි අවබෝධයට යෑමේ මාර්ගය. ඒ ජීවිත අත්දැකීම් වලින් අපි පිරෙනකොට, අපි ජීවිතේ ලබන අත්දැකීම් අපිට වෙච්ච සිද්ධියක් වගේ දැනෙනවා. මිනිස්සු දෙවිදිහකට අත්දැකීම් ලබනවා. එක කොටසක් ඉන්නවා ජීවිතයේ දේවල් සිද්ධ වෙන්න ඕන. කකුලක් කැඩුනාම කොච්චර වේදනාකාරීද? මේකට අපිට උත්තර දෙකක් තියෙනවා. එක උත්තරයක් තමයි කකුල කැඩිච්ච මනුස්සයා ගාවට ගිහින් එයාගේ කතාවට සවන් දෙනවා. අවබෝධයට පත්වීමේ මාර්ගයේ සවන්දීම පළමු සාධකයයි. එතකොට අපි කකුල කැඩිච්ච මනුස්සයෙක්ගේ කතාවට සවන් දෙනවා. සමහර මිනිස්සු ඉන්නවා ප්‍රඥාව වැඩියි. ඒ අය සවන් දෙන අතරේ කතාවට බහිනවා. කොච්චර කතාවට බහිනවද කිව්වොත් සවන්දෙනකොට ඒ මනුස්සයාට තියෙන වේදනාව ඒ මනුස්සයා වචන වලින් කියන්න උත්සාහ කරනවා. සවන් දෙන කෙනා ඒ වේදනාව විදිනවා. ඒ කියන්නේ කකුල කඩාගන්නේ නැතුව කකුල කැඩුනාම කොච්චර වේදනාවක් තියෙනවද කියලා සවන්දීමෙන් තේරුම් ගන්නවා. ඒ අය ඉතාමත් ප්‍රඥාවන්තයි. ඒ ගොල්ලෝ අපි මේ කියන සත්‍යයට ඉතාම සමීපයි. ඒ අයගේ ජීවිතයේ සියල්ලම සිද්ධ වෙන්න ඕන නැහැ. ඇහුවත් එකයි කිව්වත් එකයි. දැන් ඇහුවා කතාවක්. මනුස්සයෙක්ගේ කකුල කැඩුනාම කොච්චර වේදනාවක් තියෙනවද කියන එක ගැන. තමන්ගේ කකුල කැඩෙන්න කලින්ම ඒ වේදනාවට සවන් දුන්නා. ප්‍රශ්ණය තියෙන්නේ මිනිස්සු ජීවිතයට සවන් දෙන්නේ නෑ. මිනිස්සු එක්ක කතා කරනකොට තේරෙනවා මේ විදිහට තමයි මම ජීවිතය ඉස්සරහට ගෙනියන්න ඕන, මම යන්න ඕන මේ පාරේ කියන එක ගැන. 

එතකොට සවන් දෙන අය ඇහුවත් එකයි කීවත් එකයි. ඒ අය තීරණයක් ගත්තාම ඒක වෙනස් කරන්නේ නැහැ. මනුස්සයෙක්ගේ සාර්ථකත්වය කියන්නේ ඔහුගේ ධනයවත්, ආධ්‍යාත්මිකව සාක්ෂාත් කරපු දේවල්වත් නෙවෙයි. ආධ්‍යාත්මිකව සාක්ෂාත් කල දේවල් වෙනස් වෙන්න පුලුවන්. හිත වෙනස් වෙන්න පුලුවන්. මනුස්සයෙක්ගේ ධනය වෙනස් වෙන්න පුලුවන්. අද ධර්ම ධරයෙක්, හෙට යාචකයෙක් වෙන්න පුලුවන්. ඒ වගේම මහා ධනවතෙක් හිගන්නෙක් වෙන්න පුලුවන්. හැබැයි ලෝකයේ ඉන්නවා සමහර මිනිස්සු, ඒ අය තීරණ වෙනස් කරන්නේ නැහැ. මම සාර්ථක මිනිස්සු කියලා කියන්නේ තීරණ වෙනස් කරන්නේ නැති මිනිස්සුන්ට. තීරණ වෙනස් කරන්නේ නැති මිනිස්සුන්ට ස්වභාවධර්මය පරීක්ෂාවක් කරනවා. ඒක තමයි තීරණ වෙනස් නොකරන මිනිස්සුට තීරණ වෙනස් කිරීම සඳහා ස්වභාවදහම පොළබවනවා. ඒ වෙද්දි අපේ මනස ශක්තිමත්නම් අපි ස්වභාවදහමට උත්තර දෙන්නේ තීරණ වෙනස් නොකරයි. අපි දන්නවා තීරණයක් වෙනස් නොකරන යන මනුස්සයෙක්ට ඒ යන මාර්ගයේ පවතින්නේ අභියෝග විතරයි. ඒ වෙනසක් නොකරන නිසයි අභියෝග පවතින්නේ. තීරණ වෙනස් කරන කෙනෙක්ට අභීයෝග නැහැ. ඒ වගේම තීරණ වෙනස් කරන කෙනෙක්ට සාර්ථකත්වයක් නැහැ. අපි තීරණ වෙනස් නොකරන මාර්ගයකට පැමිණියාම අපි දන්නවා මේක මහ කටුක පාරක්, මේකේ ඉස්සරහා මේ අය ඉන්නවා, සටනට ලෑස්ති වෙනවා, අපි සටනට ලෑස්ති වෙන්න ඕන කියලා. හැබැයි පහරදීමට, ඝාතණය කිරීමට කාලය නාස්ති නොකර පුලුවන් තරම් මඟහැරලා අපි අභියෝගය දිනන්න ඕන. මේ නිසා ජීවිතය පිළිබඳ ගත්ත තීන්දු තීරණ කිසිම හේතුවක් නිසාවත්, කිසිම භාහිර කරුණක් නිසාවත් වෙනස් නොකරන්න ඕන. 

අප ගන්න සමහර තීරණ තියෙනවා. ඒවා කිසිම හේතුවක් නිසා වෙනස් කරන්නේ නැහැ. ඒ තීරණ ගන්නකොට ජීවිතයේ තමුන්ට වාසනාව උදාවෙනවනම්, තමුන්ගේ බලාපොරොත්තු ඉටුවන තීරණයක්නම් තමුන්ට සියල්ලන්ම විරුද්ධවෙන තීරණයක්. හැමෝම විරුද්ධ වෙන තීරණයක් කෙනෙක්ට ගන්න පුලුවන්නම්, ඒ වගේම පුලුවන්නම් ඒ තීරණය වෙනස් නොකර මරණය තෙක් ගමන් කරන්න ඒ මනුස්සයා ලඟාවෙන්න පුලුවන් උපරිම තැනට ලගාවෙලා ඉවරයි. ඒ වගේ මනුස්සයෙකුගේ ජීවිතය හරියට කලුවර මෝල්ගහක් වගේ. කලුවර මෝල්ගහ හරි හයියයි. ඒකෙන් කොච්චර කෙටුවත් ගෙවෙන්නේ නැහැ. ඒකෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්. අපේ ජීවිතය කලුවර මෝල්ගහක් වගේ ගොඩක් හයිය වෙන්න ඕන. කොච්චර හයිය උනත් කිසිම භෞතික කාරණයකට නොසැලී, කම්පා නොවී, අධ්‍යාත්මික කාරණයකට කම්පා නොවී ඉන්න ඕන. 



Comments